පොලිසියේ 600ක් කොටි මරද්දී දිවි ගලවාගත් එස්. අයි. රණවීර

0
1134

වර්ෂ 1990 ජූනි මස එකොළොස් වැනි දිනටත් හිරු උදාගිරින් නැගී එන්නට විය. කල්මු‍ණේ, අක්කරෙයිපත්තුව, පොතුවිල්, කලවංචිකුඩි, එරාමුර්, සමන්තුරේ යන පොලිස්ථානවලට පහර දී ඒවාහි සේවය කළ හයසීයක් පමණ පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යටත් කොටගෙන ඔවුන් නැගෙනහිර පළාතේම වූ කංචිකුඩිචිආරු මහා වනාන්තරයට ගෙන ගොස් දෑස්, දෑත් බැඳ කුරිරු ලෙස වද දී වෙඩිතබා ඝාතනය කළ දිනය ලෙස මෙදින ඉතිහාසයට එක්ව තිබේ.

මහ පොළොව පවා නුසුලන මේ මහා අපරාධය කොටි ත්‍රස්තවාදීන් සිදුකළේ තමන්ට යටත් වූ නිරායුද පොලිස් නිලධාරීන් පිරිසකට වන අතර ඒ ම්ලේච්ඡ සංහාරයේදී හාස්කමකට මෙන් දිවි බේරාගත් පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙක් අදත් අප අතර වෙති.

ගල්ගමුව, වෑගෙදර පදිංචි උප පොලිස් පරීක්ෂක (හිටපු) පී.එච්. ශාන්ත රණවීර මහතාද මාරයාගේ අභිමුඛට ගොස් එදින දිවි බේරාගත් අයෙකි. හේ දැන් පනස් දෙවැනි වියේ පසුවන තිදරැ පියෙකි.

මීට අවුරුදු විසිඅටකට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය ඔබ අද සිහිපත් කරන්නේ කොහොමදැයි මා ශාන්ත රණවීර මහතාගෙන් විමසූ විට ඔහු දුන් පිළිතුරයි මේ.

“ඒක ඉතාමත් බිහිසුණු අත්දැකීමක්. මතක් වෙනකොට අදත් මහා තිගැස්මක්, කම්පනයක් ඇතිවෙනවා. ඔය වෙනකොට මං සේවය කළේ කල්මුණේ පොලිස්ථානයේ. ඔය කාලයේ තමයි කොටින් සමඟ සාම සාකච්ඡා පටන්ගෙන තිබුණ කාලය. ඔය සාකච්ඡා අතරතුර එල්.ටී.ටී.ඊ. සංවිධානය හැමතැනම කඳවුරු ඉදිකරමින් සිටියා. ආයුධ රැස්කරමින් හිටියා. අපි පොලිස්ථානවලට කොටුවී හිටියා. කල්මුණේ පොලිස්ථානයේ ඔය වන විට සහකාර පොලිස් අධිකාරි බොතේජු, සහකාර පොලිස් අධිකාරි (II) සාදියන්, මූලස්ථාන පොලිස්ථානාධිපති කෙයාස් යන මහත්වරු හිටියා. 1990 ජූනි මාසේ දහවැනිදා රාත්‍රියේ අපේ ඕ.අයි.සී. මහත්තයාට හදිසියේ අසනීපයක් හැදුණා කියා අම්පාර රෝහලට ගිහින් නතර වුණා. වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළේ උප පොලිස් පරීක්ෂක නිහාර්. ජූනි මාසේ එකොළොස් වැනිදා උදේ මං පොලිසියේම කටයුත්තකට තවත් රාළහාමිලා හයදෙනකු සමඟ කල්මුණේ හන්දිය පැත්තට පොලිස් ජීප් රථයේම ගියා. අතරමගදී ජීප් රථයේ රෝදයක හුළං බැස්සා. ඒක හදාගෙන එනතුරු සිටිද්දී මට දැනගන්න ලැබුණා අද (11) කොටි පොලිස්ථානවලට පහරදීමට සූදානමක් ඇති බව.

මං ගමන්කථනයෙන් පොලීසියට කතා කළා. එස්.අයි. නිහාර් මට කීවා, “දැන් පොලීසිය වටකරලා තියෙන්නේ. පුළුවන් නම් ගිය අයත් එක්ක ආපසු පොලීසියට එන්න” කියා නිහාර් මට දැනුම් දුන්නා. අපි ආපසු පාගමනින් පොලීසියට එන්න එද්දී අතරමඟදී කොටි ත්‍රස්තවාදීන් හතරදෙනෙක් අපේ ඉදිරියට ආවා. මං අපේ කට්ටියට කීවා, “උන් වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියමු” කියලා. උන් අපෙන් ඇහුවා කොහේද යන්නේ කියලා. මං කීවා, ”අපි කල්මුණේ පොලීසියේ නිලධාරීන්. පොලීසියට යන්න යනවා“ කියා. උන් අපට යන්න දුන්නා.

පොලිස්ථානයට එන විට කොටි දෙසීයක් විතර දෙනා පොලීසිය වටකරලා බව දැනගත්තා. ඔය වෙනකොට උදේ දහයට විතර ඇති. අපේ පොලීසිය වටා බංකර් දහඅටක් ඉදිකරලයි තිබුණේ. නිලධාරීන් ඒවායේ ස්ථානගත කොට ප්‍රහාරයක් එල්ල කළොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් අපි හිටියා.

 

ඒ.එස්.පී. බොතේජු මහත්තයා පොලිස්ථානයේ ඒ වෙලාවේ හිටියා. ඒත් ඒ.එස්.පී. සාදියන් මහත්තයා වෙන කොහේදෝ ගමනක් ගිහින්! කොටි නායකයන් බොතේජු මහත්තයාට කතා කරලා අහනවා, යටත් වෙනවද කියලා. බොතේජු මහත්තයා ඒ අවස්ථාවේ එස්.අයි. මහත්තුරැයි, සීනියර් සාජන්ලයි එකතු කරලා ඇහුවා මොකද දැන් කරන්නේ කියලා. ගැහුවොත් ගහමු කියන තීරණයට අපි ආවා. කොටි නායකයන් පැය භාගයෙන් භාගයට විතර පණිවිඩ එවනවා යටත් වෙන්න කියලා.

හවස දෙක විතර වෙනකොට කොටින් මෝටර් අවි එහෙම සවිකරනවා අපි දැක්කා. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නූර්දීන්ට මේ ගැන දැනුම් දෙද්දී ප්‍රහාර එල්ල කළොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙස අපට දැනුම් දුන්නා. සහායට පිරිස් එවන්නම් කියලා කීවා. මං අංක 17 බංකරය බාරව සිටියා. හවස දෙක පහුවෙනකොටම කොටි අපට මැෂින් ගන් ප්‍රහාරයක් එල්ල කළා. අපි ප්‍රතිප්‍රහාර එල්ල කළා. උන් ඊළඟට බෝම්බ ගහන්න පටන් ගත්තා. හවස තුන විතර වෙද්දී කොටි අපට මෝටාර් ප්‍රහාර එල්ල කළා.

මේ වන විට අවට පොලිස්ථානවල නිලධාරීන් කොටින්ට යටත් වී ඇති බව අපට දැනගන්න ලැබුණා. ඒ සන්නද්ධ කණ්ඩායම්ද කල්මුණේට ඇවිත් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. උන්ගේ ප්‍රහාර වැඩිවෙන්න පටන් ගත්තා. තුවාල ලබාපු අපේ අය දැන් කෑගහනවා. සමහරැ කෙඳිරිගානවා. වතුර ඉල්ලනවා. ඒ අයට පිහිටවෙන්න ක්‍රමයක් හෝ රෝහලට අරන් යන්න ක්‍රමයක් අපට නෑ. ඉහළින් ලබාදෙනවා කියපු ආධාරත් නෑ. දැන් එවනවා.. දැන් එවනවා කීවත් සහායට පිරිස් එව්වේ නෑ. හවස පහ හමාරට විතර බොතේජු මහත්තයා නැවත අපි කට්ටිය කැඳවා සාකච්ඡාවක් කළා. මේ වන විට අපේ නිලධාරීන් අටක් නමයක් විතර මියගිහින්. විසිපහක් විතර තුවාල ලබලා. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගෙන උපදෙස් ගත්තා. රජයේ උපදෙස් මත කොටින්ට යටත්වෙන්න කියන උපදේශය මත අපි යටත් වෙන්න තීරණය කළා.”

පොලිස් කොස්තාපල්වරයකු ඇඟලා සිටි සුදු පැහැති කමිසයක් ගලවාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් එය කොඩියක් බවට පත්කොටගෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඉදිරියට ගොස් යටත් වූ බව ප්‍රකාශ කළ බවත් අපි බිම තැබූ සෙසු නිලධාරියන්ද පෝලිමට ගොස් යටත් වූ බවත් ඔහු කීය. ඉන් පසුව කල්මුණේ හන්දියේ වූ මහා මාර්ගයක බිම වාඩිවන ලෙස ත්‍රස්තයන් පොලිස් නිලධාරීන්ට අණකර තිබේ. ඒ අවස්ථාවේ නිලධාරීන් 140 ක් පමණ සිටි බව ශාන්ත රණවීර මහතා කියයි.

“රෑ හතට විතර ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් බස් රථ තුනක් අපි හිටපු තැනට ගෙනාවා. අපිව කොහේද අරන් යන්නේ කියා ඇහුවාම එස්.එස්.පී.ට බාරදෙන්න අරන් යනවා කීවා. තුවාල වෙච්ච නිලධාරීන් ඇතුළේ ඉන්නවා කීවාම උන් කීවා ඒ අය රෝහලට අරන් යනවා කියලා. උන් අපිව බස් රථවලට ගොඩකෙරෙව්වා. දෙවැනි බස් එකේ මුල් සීට් එකේ මායි ඒ.එස්.පී. බොතේජු මහත්තයයි වාඩිකෙරෙව්වා. අපව අරන් ගියේ අම්පාර පැත්තට. අතරමගදී හමුදාවේ පිරිසක් මරලා දාපු තැනකුත් උන් අපට පෙන්නුවා. එදා දවල් තමයි ඒ සෙබළු මරලා දාලා තියෙන්නේ. බස් තුනට ඉදිරියෙන් මුලින්ම ගියේ පොලීසියේ බයික් එක. ඊළඟට අපේ ඒ.එස්.පී. මහත්තයාගේ කාර් එක. ඒකෙ ගියේ ප්‍රහාරයට නායකත්වය දුන්න නැගෙනහිර කොටි ප්‍රධානියා. අම්පාරට ගෙන යන බව කීමත් අම්පාරට නොගොස් අක්කරෙයිපත්තුව හන්දියෙන් වමට හැරී පොතුවිල් ප්‍රදේශයේ මහ කැලෑවකට අපව අරන් ගියා. ඒක කොටින්ගේ කඳවුරක්. ඒකෙදි අපේ අත් හා ඇස් බැන්දා. නිලධාරීන්ගේ නම්, ගම් ලියාගත්තා. ඇස් බැන්දට පස්සේ මම මූණ උරහිසේ අතුල්ලා ගනිමින් ඒ රෙදිකෑල්ල බුරුල් කරගත්තා. හැබැයි එහෙම කරගත්තා කියලා ඒ බව ඇඟවූයේ නෑ.

දැන් රූ අට හමාරට නමයට විතර ඇති. අපි තාම බස් රථ ඇතුළේමයි. ඔය වෙලාවේ බොතේජු සර් මට කීවා, “රණවීර මුන් අපිව මරන්නයි දැන් ලෑස්තිය. හිත හදාගනිමු” කියලා. සර්ට ප්‍රෙෂර් එකත් වැඩිවෙලා බව මං දැනගත්තා. ඔය අතරවාරයේ තමයි උන් අපට තල්පිති වලින් ගහන්න පටන් ගත්තේ.”

ඉන්පසුව පැය කීපයක් යනතුරු කිසිම හැලහොල්මනක් නොවීය. මධ්‍යම රාත්‍රිය උදාවන විට බස් රථ තුනෙන් පළමු බස් රථය පණගන්වන හඬ රණවීර මහතාට ඇසුණි. සර් ඉස්සරහ බස් එක ස්ටාර්ට් කළා කියලා කිව්වා. ඊළඟට අපි හිටපු බසයත් ඉස්සරහට ගියා. මහ කැලෑවක් මැද විනාඩි හතළිස් පහක් පමණ වේලාවක් බස් ටික ගියා.

ඊළඟට අපි බස් රථවලින් බිමට බැස්සුවා. අපේ ළඟ තිබුණ මුදල්, ඔරලෝසු කොල්ලකෑවා. බස් රථවල හිටපු අපි ඔක්කොම බිමට බැස්සුවා. එක එක්කෙනා අරන් ගිහින් බිම නිදිකරවනවා. අරන් යන අතර පොලුවලින් පහරදෙනවා. දැන් අපි කට්ටියම පෝලිමකට නිදිකරවලා. ඔය අතරවාරයේ එකෙක් දැක්කා මගේ අත් ගැටගහලා තියෙන බැම්ම බුරුල්වෙලා බව. ඌ තුවක්කුව බිම තියලා මගේ අත්දෙක ගැටගහන්න ලෑස්ති වුණා. ඕන දෙයක් වුණාවේ කියලා හිතලා අර තුවක්කුව ගන්න මං ලෑස්ති වුණා. පිටිපස්සේ හිටිය කොටියෙක් මේක දැකලා උගේ තුවක්කු බඳෙන් මට ගැහුවා. ඒ වෙලාවේ මට සිහිය නැතිව ගියා.

සිහිය එනකොට මට ඇහෙනවා බස් ආපහු හරවන ශබ්දය. ඒ වුණාට කොටි එතැන හිටියා. හතර දෙනෙක් අපි දිහාට තුවක්කු මානගෙන හිටියා. මං දැනගත්තා දැන් අපට වෙඩි තියන්නයි ලෑස්ති වෙන්නේ කියලා. මං අත්දෙක ලිහාගෙන ඔළුවට අත්දෙක තියාගෙන මගේ මියගිය අම්මාව සිහිපත් කළා. එතකොටම “ෆයර්” කියනවා ඇහුණා. වෙඩි වරුසාවක් එල්ල වුණා.

ඉතිරි කොටස ලබන සතියට….
►ගල්ගමුව – නිහාල් ජයවීර

– deshaya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here