කෝටි ගණනක් වැටුප් මුදල් වංචා කළ අනුරපුර නගර සභා සේවිකාව

0
33

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් අංශයේ සේවය කළ සේවිකාවක විසින් එම නගර සභාවේ කාර්ය මණ්‌ඩල වැටුප් සැකසීමේදී සිදුකොට ඇති වැටුප් මුදල් වංචාව රුපියල් කෝටියකට අධික වන බව ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම නගර සභාවේ ගණකාධිකාරීවරයා විසින් පසුගියදා මෙම වැටුප් මුදල් වංචාව අනාවරණය කර ගෙන තිබිණි.

ඒ අනුව උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස්‌ මත එම පළාත් පාලන කොමසාරිස්‌වරියගේ අධීක්‌ෂණය යටතේ අනුරාධපුර මහ නගර සභාවේ විමර්ශන නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මේ සම්බන්ධයෙන් සිදු කර ගෙන යන මූලික විමර්ශන වලදී 2015 වසරේ සිට ඇය විසින් වැටුප් මුදල් වංචාව අඛණ්‌ඩව සිදුකර ගෙන ගොස්‌ ඇති බව හෙළි වී තිබේ.

එම නගර සභාවේ ආදායම් පරීක්‌ෂකවරයකු ලෙසට සේවයෙහි නියුතු තම සැමියාගේ ද සහයෝගය සහ අනුදැනුම මත ඇය විසින් එකී වැටුප් මුදල් වංචාව සිදුකොට ඇති බවත් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.

මේ අතර ඇය විසින් එකී වැටුප් මුදල් වංචාවට එම නගර සභාවේ සේවයෙහි නියුතු තවත් කාන්තාවන් දෙදෙනකු ද හවුල් කරගෙන ඇති බවත් හෙළි වී ඇත.

මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමග මෙම වැටුප් මුදල් වංචාවට සම්බන්ධ බව කියන සියලු දෙනාගේම වැඩ තහනම් කොට ඇති බව අනුරාධපුර නාගරික කොමසාරිස්‌ අජන්ත ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම වැටුප් මුදල් වංචාවේ මහ මොළකාරිය විසින් වංචා කරන ලද මුදල්වලින් මේ වනවිට සුඛෝපභෝගී මෝටර් රථයක්‌ මිලදී ගෙන ඇති බවත් ඊට අමතරව රුපියල් තිස්‌ පන් ලක්‌ෂයක මුදලකට අනුරාධපුර නගරයේ ගුවන්තොටුපොළ මාර්ගය අසලින් මෑතකදී ඉඩමක්‌ මිලදී ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර 2015 වසරේ සිට ප්‍රධාන සැකකාරිය විසින් සිය නිවසට වරින් වර සුඛෝපභෝගී භාණ්‌ඩ සහ අනිකුත් උපකරණ ආදිය මිලදී ගෙන ඇති බවත් එම විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇගේ දරුවන් දෙදෙනා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බවත් මෑතකදී තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග නුවරඑළිය ප්‍රදේශයේදී හෙලිකොප්ටරයකින් ගුවන් සංචාරයක ද නිරත වී ඇති බවත් එහිදී උපන්දින සාදයක්‌ ද පවත්වා ඇති බවත් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here