“මම මැරුණේ නැහැ මාව ගිල්වලා මැරුවා”.. නොපෙනෙන මානයෙන් ලොව දකින්නට කියවන්න

0
1208

අශ්‍රැතවත් පෘතග්ජනයා සෑම මොහොතකම චිත්ත සන්ථානය තුළ පින්, පව් රැස් කරයි. අරමුණක් ස්පර්ශ වූ සැනින් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ඝට්ඨබ්භ රූප, ධම්ම රූප රැස් කරයි. උදාහරණයක් ලෙස ඇසට ගෝමර වූ පි‍්‍රය මනාප රූපයක් දුටු සැනින් මේ රූපය හොඳයි ලස්සනයි පි‍්‍රයයි කියා සංඥාවක් සටහනක් ඇති කර ගනී.

මෙසේ සුඛ යැයි ගත් වින්දනයේ සංඥාව නිතර නිතර සිතේ ක්‍රියාත්මක වේ. සංඛාර කරයි. සෑම වේලාවකම මේ සංඥාව දරුවෙකු රෝදයක් පෙරළමින් යන්නා සේ ඒ අරමුණම නැවත නැවත මෙනෙහි කරයි. හරකා දවල් දවසේ ආහාරයට ගත් තණකොළ හෝ පිදුරු වමාරා හක්කෙන් හක්කට මාරු කරමින් හප කරමින් සිටී.

මිනිසා ද රාගි අරමුණු එසේ මෙනෙහි කරමින් ලෝභ සිත් උපදවයි. අපි‍්‍රය අරමුණු මෙනෙහි කරමින් තරහ ද්වේෂ සිත් උපදවයි. තණ පිටියෙන් කුස් පිරැවූ ගව පට්ටිය හැන්දෑ කාලය එළඹෙත්ම ගව පට්ටිය බාර තැනැත්තා ගවයින් ගව ගාලට දක්කා ගෙනැවිත් කොටු කැර තබනු ලබයි. නැවත උදේට පැමිණ අලුත් තණ පිටියකට ගෙන යෑම සඳහා කඩුල්ල විවෘත කරයි.

ඒ අවස්ථාවේ ගව රෑන දෙපසට පෙරළා ගෙන පළමුවම ඉදිරියට පැමිණ කඩුල්ලෙන් පිටවන්නේ එහි සිටින ශක්තිමත් , බලවත් ගවයාය. එසේම මිනිසාගේ මරණාසන්න මොහොතේ අවසන් චුති සිතට අරමුණු වන්නේ ද සිතේ තදින් අල්ලාගෙන සිටින අරමුණකි. සිතුවිල්ලකි. ඒ ලෝභ භව හෝ ද්වේෂ භව අනුව මිනිසාගේ ඊළඟ ජාතිය සකස් වෙයි. එහි පිළිසිඳ ගනී.

රංජන් පයාගල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි විවාහකයෙකි. කලින් උග්‍ර මත්පැන් විරෝධියෙකු වූ ඔහු දැත් දැඩිලෙස මත්පැනට ඇබ්බැහි වී ඇත. එසේම ඔහුගේ බෙල්ලේ උග්‍ර වේදනාවක් හට ගෙන ඇති අතර සියලු වෛද්‍ය පරීක්ෂණ වලින් ඔහුට රෝගයක් නැතැයි නිගමනය වී ඇත. මේ අතර ඔහු රාත්‍රී හීනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වෙයි.

ඊට හේතුව වසර දෙකකට පෙර නාන තටාකයකට වැටී මියගිය ඔහුගේ යහළුවෙක් වූ චමිල හීනෙන් ඔහු සොයා ගෙන ඇවිත් ඔහුව අවදි කිරීමයි. එසේ දියේ ගිලී මියගිය චමිල අමුම අමු බේබද්දෙකි. අවිවාහකයෙකු වූ චිමල අස්වාභාවික චර්යාවලට හුරු වූවෙකි. දැන් රංජන් ද අස්වාභාවික චර්යාවලට හුරු වී ඇති අතර ගමන් කරන්නේ ද චමිල ගමන් කළ ආකාරයටය.

ඒ ගමන් විලාසයෙන්මය. රංජන් ගේ බිරිඳ වෛද්‍ය ප්‍රතිකාරවලින් ඔහුට සුවයක් ලබා දීමට දැඩි උත්සාහයක් ගත්ත ද රන්ජන් අධික ලෙස මත්පැනට ඇබ්බැහිවීම නිසා ද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළත් එයින් ද සහනයක් නොවීය. අන්තිමට ඇය ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු කැඳවාගෙන ආවේය. එහිදී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී රංජන්ගේ රෝගාබාධ හා අසාමාන්‍ය චර්යාවන් වෙනස්වීම ශ්‍රැත විස්තර කළාය.

පළමු රෝග පරීක්ෂාවේදීම රංජන් හූ කියාගෙන බිම වැටී අඬන්නට විය. නොනවත්වා අඬන්නට වූයෙන් ගවේෂකවරයා ඔහු පියවි සිහියට පත් කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ රංජන්ගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නටත් කෑ ගසන්නටත් විය.

ගවේෂකවරයා වේවැල පෙන්වා භූතාත්මය පාලනය කොට ප්‍රශ්න කරන්නට විය. “ කවුද මේ ශරීරයට රිංගාගෙන කෑ ගසන්නේ ?” “ මම චමිල” භූතයා උත්තර දුන්නේය. “ කවුද චමිල කියන්නේ ?” “ මේ රංජන්ගේ යාළුවෙක්.” “ ඇයි යාළුවෙක් නම් රංජන්ට කරදර කරන්නේ ?” “ කරදර කරන්නේ නෑ. මට කරපු අසාධාරණය ලෝකයට කියා ගන්නයි මම රංජන් ළඟට ආවේ. රංජන් ළඟට ඇවිත් කිව්වා කිව්වා රංජන්ට ඇහෙන්නේ නෑ. ඊට පස්සේ හීනෙන්වත් කියන්න ඕනෑ කියලා රෑට හීනෙන් රංජන් ළඟට ආවා. එහෙම ආවාම රංජන් හැමදාම බය වෙලා කෑ ගහගෙන අවදි වෙනවා.

මට කරන්නම දෙයක් නැති තැන රංජන්ගෙ බෙල්ල බදාගෙන හිටියා.” “ බෙල්ල බදාගෙන හිටපු එක විතරම ද කළේ ?” “ නැහැ. බේබදුකම නිසා මැරුණු මට මැරිලත් ඒ පුරුද්ද අතහරින්න බැරි වුණා. ඒ නිසා රංජන්ගේ ශරීරයේ ඉඳගෙන රංජන්ව අරක්කුවලට ඇබ්බැහි කළා.” “ මොකක්ද ඔබට කියාගන්න ඕනෑ වෙලා තියෙන අසාධාරණය?” “ මට වෙච්ච දේ මගේ අම්මා ඉස්සරහ කියන්නයි ඕනෑ” භූතාත්මය ගවේෂකවරයාට කීවේය. තවත් සතියක් බෝධි පූජා පවත්වා චමිලට පින් අනුමෝදන් කරන බවත් අවශ්‍යතාව ඉටු කරන්නට නම් මේ සතිය තුළ රන්ජන් මත්පැනට නොපොළඹවන ලෙසත් ගවේෂකවරයා භූතයාට අවවාද කරමින් කීවේය.

භූතයා ද ඊට එකඟ විය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණෙන විට චමිලගේ මෑණියන් ද කැඳවා ගෙන එන ලෙසත් ගවේෂකවරයා රන්ජන්ගේ බිරියට කීවේය. ඒ බෝධි පූජා පැවැත්වූ සතිය තුළ රංජන් මත්පැනෙන් වැළකුණු බවත්, ඊට පසුව බෙල්ලේ වේදනාව අඩු වී ගිය බවත් නැවත පැමිණි දිනයේදී රංජන්ගේ බිරිය ගවේෂකවරයා සමඟ පැවසුවාය. එදින මියගිය චමිලගේ මව ද ඔවුන් කැඳවාගෙන පැමිණ තිබුණි. එදිනෙදා ගවේෂකවරයා රංජන්ගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගන්වා කතා කරන්නට විය. “ ආ… මගේ අම්මා අද ඇවිත්. හොඳයි. අද මට කියාගන්න ඕනෑ දෙය කියන්න පුළුවන්.” භූතාත්මය සිනාසෙමින් කියන්නට විය.

“ ඇයි මගෙ පුතේ… මොනවද පුතාට කියන්න තියෙන්නේ?” චමිලගේ මව භූතාත්මයෙන් විමසුවාය. “ චමිල මොනවා වෙලාද මැරුණේ?” ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය. “ මම බීලා වෙරි වෙලා ස්වීමිං පූල් එකට වැටිලා ගිලිලා මැරුණා කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. මරණ පරීක්ෂණයේ නිගමනයත් එහෙමයි. ඒ වුණාට මැරුණෙ එහෙම නෙවෙයි.” “ තමුන් එදා බිව්වේ නැද්ද?” “ බිව්වා බිව්වා සුමනපාලත් එක්ක හොඳට බිව්වා.” “ ඉතින් මැරුණෙ කොහොමද?” “ බිව්වාට පස්සේ සුමනපාලයි මමයි අතරෙ බහින් බස් වීමක් වුණා.

ඌට කේන්ති ගිහින් ඌ මාව ස්විමිං පූල් එකට දාලා මගේ බෙල්ලෙන් අල්ලාගෙන දියේ ඔබාගෙන හිටියා. ඒකෙන් තමයි මම මැරුණේ.” “ ඉතින් සුමනපාලගෙන් පළිගන්න එපායැ. ඇයි මේ රංජන්ට කරදර කරන්නේ?’ “ පළිගත්තා. පළිගත්තා. සුමනපාලගෙනුත් පළිගත්තා” “ ඒ කොහොමද?” “ උගෙන් පළිගන්නා වෙලාව එනකම් මම උගේ පස්සෙන්ම හිටියා. දවසක් රෑ ඌ බීලා මෝටර් බයික් එකේ එනකොට මම ඌව බය කරලා උගේ බෙල්ලට පැන්නා. ඌ ලයිට් කණුවක ඔළුව හැපිලා එතනම මළා.” එසේ කියමින් භූතයා සිනාසෙන්නට විය.

“ ඉතින්?” “ ඉතින් ඇත්ත කතාව ලෝකෙට කියාගන්නයි මට වුවමනා වුණේ. දැන් හරි. මගේ හිත නිදහස අදින් පස්සේ මම රංජන්ට කරදර කරන්නේ නෑ.” මේ අවස්ථාවේ චමිලගේ මව ද කතා කළාය. “ ඔව් පුතේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. වැරදි කාරයාට පුතා දඬුවම් කරලත් ඉවරයි. පුතා ඔය අත්මයෙන් මිදිලා වෛරය. අතහැරලා හොඳ තැනකට යන්න. මම පුතා මගේම වෙලා මගේ කුසකම උපදින්න කියලා උදේ හවස පින් දෙනවා.” චමිලගේ මව දෙනෙත් පිරි කඳුළු මැඩ පවත්වා ගනිමින් කීවාය. “ ඔව් අම්මගෙ කීම හරි. අම්මාට දැන් වයසයි. මේ ආත්මයේ එහෙම උපදින්න බැහැ.

ඒ නිසා එතකම් පින් අනුමෝදන් කරගෙන පූජ්‍යස්ථානයකට වෙලා ඉන්න ගවේෂකවරයා භූතාත්මයට කීවේය. “ හොඳයි මහත්තයා මා හොඳ තැනකට යවන්න” භූතයා ගවේෂකවරයාගෙන් ඉල්ලා සිටියේය. ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා චමිලට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි රංජන්ටත් චමිලගේ අම්මාටත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

දානය පිරිනමා නැවත පැමිණි දිනයේ පළතුරු වට්ටියකට භූතාත්මය සම්බන්ධ කළ ගවේෂකවරයා එය රන්ජන්ගේ මව අතේම අනුරාධපුරයට යැවීය.

(මතුගම මහින්ද විජේතිලක)

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here