නින්දේදී සිහින දකිනවානම් ඔබත් අනිවාර්යයෙන් මෙය කියවා දැනුවත් වන්න

0
3797

නින්දේදී සිහින නොදකින කෙනෙක් නැහැ. යම් කෙනකු අවුරුදු 70 වන විට සිහින 150000 ක් පමණ දැක තිබෙනවා. මේ අතර යම් පුද්ගලයකු වසරකට භයානක සිහින 24 ක්වත් දකින බව කියනවා. නමුත් එදිනෙදා සිහිනවල වැඩිපුරම තියෙන්නෙ අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වන දේවල්. වෙළෙඳපොළට බඩු ගන්න යනවා. මිත්‍රයකු සමඟ සාදයකට යනවා. දතක් ගැලවෙනවා. බාර් එකට ගිහින් බොනවා. නාන්න ගිහින් ගඟේ ගිලෙනවා. අහසේ පියාඹලා යනවා. අපි දකින සිහිනවල වැඩිපුරම දකින්නෙ ප්‍රචණ්ඩත්වය හෝ හානිකර දේවල් කියලා සමීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා. පිරිමින් දකින සිහිනවලින් 47%ක්ද කාන්තාවන් දකින සිහිනවලින් 44%ක්ද ප්‍රචණ්ඩ සිදුවීම් හා සම්බන්ධ වෙනවා.

සිහින ගැන කියන විට සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා අමතක කරන්න බෑ. සිහින විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කර ලොවට මුලින්ම විද්‍යාත්මකව ඉදිරිපත් කළේ සිග්මන් ප්‍රොයිඩ්. ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා.

“අපගේ යටි හිතට ප්‍රවිශ්ට වෙන්න තියෙන රාජකීය මාවත තමයි සිහින”

“Dreams are royal road to the unconscious mind”

අපි ප්‍රොයිඩ් සිහින විග්‍රහ කළ ආකාරය බලමු. ප්‍රොයිඩ්ට අනුව අපේ මනස කොටස් තුනකට බෙදෙනවා. උඩු සිත (Super-ego) මැද සිත (Ego) සහ යටි සිත (Id) ප්‍රොයිඩ්ට අනුව අපගේ මෙම සිත්වල විශාලම කොටස යටි සිතයි. අපගේ ප්‍රචණ්ඩ සිතුවිලි, ලිංගික ආශාවන්, බලය පිළිබඳ තිබෙන කෑදරකම යන මේ සියල්ල සැඟවී තිබෙන්නෙ මේ යටි සිත තුළ කියල සිග්මන් ප්‍රොයිඩ් කීවා. එය ඔහු සමාන කළා අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කන්දකට. ඔබ කවුරුත් දන්නවා ටයිටැනික් නෞකාව විනාශ වෙන්නෙ මුහුද යට තියෙන මේ අයිස් කන්දෙ වැදිල කියලා. මුහුද යට තියෙන අයිස් කන්දෙ ප්‍රමාණය අතිවිශාලයි. එය උඩට පේන්නෙ නැහැ. ප්‍රොයිඩ්ට අනුව යටි සිතත් එහෙම තමයි. බැලූ බැල්මට අපට යටි සිතේ තියෙන දේවල් පේන්නෙ නැහැ. ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා. සිහින කියන්නෙ අපගේ යටි හිතේ තියෙන නොවිසඳුණු ආශාවන් සංසිඳුවාගන්න තියෙන එක්තරා ක්‍රමවේදයක් කියලා. මොකද එම ආශාවන් ක්ෂණිකව උඩු සිතට ගත්තොත් බැලූ බැල්මටම එය අපට තර්ජනයක්. ප්‍රොයිඩ්ට අනුව අපගේ සැබෑ ආශාව සිහිනයෙන් පෙන්නුම් කරන්නෙ නෑ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිහිනය තුළ තිබෙන්නෙ. ඔහු කීවා අපට පෙනෙන සිහින තුළ තිබෙන සත්‍ය හෝ යථාර්ථය සැඟවිලා තිබෙන්නෙ ඒවායේ පෙනෙන ලකුණු (Symbols) තුළ බව.

අපි මෙය උදාහරණය මගින් බලමු. අපි හිතමු ඔහු නිමල් කියලා. නිමල්ගෙ වයස අවුරුදු 25 යි. නිමල් නයෝමි සමඟ ප්‍රේමයෙන් බැඳී දැන් අවුරුදු 2 ක් වෙනවා. නිමල්ට විවාහයට පෙර නයෝමි සමඟ ලිංගිකව එකතුවීමේ ආශාවක් ඇතිවෙනවා. නමුත් නයෝමි බොහෝ සිරිත් විරිත් අනුව ගතානුගතික සම්ප්‍රදායට ජීවත් වූ නිසා ඇය මේක ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රශ්නය නිසා දෙදෙනා අතර පොඩි හිත් අමනාපකමක්ද ඇතිවුණා. මේ ගැටලුව සමඟ අපට යොමුවූ නිමල් නිතර දකින සිහිනයක් මෙසේ විග්‍රහ කළා. ඔහු මෙහෙම කීවා. “මම නිතරම සිහිනෙන් දකිනවා මට පියාපත් දෙකක් ලැබිලා අහසේ නිදහසේ පියාඹලා යනවා. එහෙම යනකොට මට පුදුම සතුටක් සහ සැහැල්ලුවක් දැනෙනවා.” සිග්මන් ප්‍රොයිඩ්ට අනුව අහසේ පියාඹීම සැඟවුණු ලිංගික ආශාව පෙන්නුම් කරන “ලකුණයි”. ප්‍රොයිඩ් කීවේ මේ සිහිනය මගින් ඔහුගේ පෙම්වතිය ලිංගික සංසර්ගයට ඉඩ නොදෙන නිසා ඇතිවන පීඩනය අවම වන බවයි.

ප්‍රොයිඩ්ගේ සිහින පිළිබඳ මතය pet’s ස්කෑන් මගින් තරමක් දුරට තහවුරු කර ඇත. එනම් අපට මෙම බොහෝ සිහින පෙනෙන්නේ R.E.M (ඇස් වේගයෙන් චලනය වන) නින්දේදීය. මෙහිදී මොළයේ හැඟීම්වලට අදාළ මධ්‍යස්ථාන අවදිවන අතර බුද්ධිය සහ තර්කයට අදාළ මධ්‍යස්ථාන වැසී පවතී. මෙවැනි අවස්ථාවකදී සැඟවුණු ආශාවන්, හැඟීම් සහ භීතීන් අවදි වී පාලනයකින් තොරව නොයෙකුත් සිහින බවට පත්විය හැකි බව මෙම ස්කෑන්වලින් පෙනී ගොස් ඇත.

ප්‍රොයිඩ්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් වී ඇති සිහින පිළිබඳ තවත් මතයක් වන්නේ සිහින යනු “අප ආරක්ෂා කිරීමට පරිණාමයෙන් අපිට උරුම වී ඇති ස්වාභාවික හැකියාවක් බවයි.” (Dreams for survival Theory) සත්ව පරිණාමයේදී ඔවුනට තිබුණේ කුඩා මොළයකි. මෙම සතුන් අවදියෙන් සිටීමේදී එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මෙම කුඩා මොළය ප්‍රමාණවත් නොවූ බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. එම නිසා අවදියෙන් සිටින කාලය තුළ ජීවිතය ගෙන යාමට අවශ්‍ය මතක පරිපථ සිහින තුළදී නිර්මාණය වන බව මේ මතයෙන් ප්‍රකාශ වේ.

මීයන් අරගෙන කළ එක් පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ දවල් කාලයේදී ඔවුන්ගේ බොහෝ හැසිරීම් රටාවන් සිහින තුළින් නිර්මාණය කරගන්නා බවයි. අපි සුපුන්ගේ කතාව බලමු. සුපුන් අ.පො.ස සාමාන්‍ය පෙළ ඉතා මහන්සි වී වැඩ කළ දරුවෙකි. ඔහු දිනක් මෙවැනි සිහිනයක් දුටුවේය. එම සිහිනය තුළ ඔහු දුටුවේ ඉතා හොඳින් සාමාන්‍ය පෙළ සමත් වී ප්‍රතිඵල ලේඛනය අතැතිව සිනාමුසු මුහුණින් දෙමාපියන් හමුවට පැමිණෙන ආකාරයයි. මේ හා සමාන සිහින කිහිප වතාවක්ම සුපුන්ට පෙනී ඇත. බොහෝ අය මෙය විග්‍රහ කර තිබුණේ සුපුන් විභාගය අසමත් වන ලකුණක් ලෙසටයි. මේ නිසා කනස්සල්ලට පත් සුපුන් අප සායනයට යොමුවූයේ කනස්සල්ලෙන් සහ දැඩි ආතතියෙනි. සුපුන්ට මෙම සිහිනය ඉතා හොඳ සිහිනයක් බව අපි විග්‍රහ කර දුන්නෙමු. මෙය විභාගයට ප්‍රථමව මනස නිසිලෙස සකස් කිරීමක් බව අපි ඔහුට අවබෝධ කර දුනිමු. සැබැවින්ම සුපුන් A සාමාර්ථ 8 ක් ලබාගෙන හොඳින් සමත් වීම අවසාන ප්‍රතිඵලය විය.

සිහින පිළිබඳ නූතන මනෝ විද්‍යාත්මක අදහස් ලොවටම හෙළිකළ අනෙක් මනෝ විශේෂඥවරයා Alan Hobson ය. ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහුට අනුව සිහින ඇතිවන්නේ මොළය තුළ ඇතිවන විද්‍යුත් ශක්තියක් ජනනය වීමෙනි. මෙම ශක්තිය ජනනය වනුයේ අප R.E.M (වේගයෙන් ඇස් චලනය වන) නින්ද තුළයි. මෙහිදී අපගේ මතක පරිපථ අවදිකොට ඒවා යම් තේරුමක් ඇති තාර්කික පරිපථ බවට පත්කොට ඒවායෙන් සිහින ඇතිවන බව හොබ්සන් කියා සිටියේය.

හොබ්සන්ට අනුව සිහින පිළිබඳ නූතන විග්‍රහ කිරීම් මෙසේය.

අප දකින බොහෝ සිහින අවිද්‍යාත්මකය. සමහර විට ඒවායේ තාර්කික පදනමක් නැත. අප තුළ ජනිත වන ප්‍රබල හැඟීම් ආතතීන් මේවා තුළ සැඟව තිබෙන බව හොබ්සන් කියා සිටියේය.

මෙම සිහින සමඟ ඉතා ප්‍රබල හැඟීම් මිශ්‍ර වී තිබෙන නිසා ඒවා අපට සත්‍ය සිදුවීම් ලෙස බොහෝ විට දැනේ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී නම් එම අසත්‍ය විකාර රූපී සිදුවීම් එසේ නොවන බවට ප්‍රතික්ෂේප කර දැමීම සිදුවේ. උදාහරණ: ඔබ අද ගමනක් යන විට දැඩි අනතුරකට ලක්වේ යැයි බියක් ඇතිවීම. ඊට හේතුව ලෙස ඔබ හිතන්නේ එදා පවතින නරක කාලගුණයයි. නමුත් එසේ අනතුරක් සිදුනොවනු ඇති බවද ඔබේ සිත කියයි. ඔබ බය නැතුව ඔබේ ගමන යයි.

සිහිනවලින් 95%ක්ම අපට මතක නැත. ඊට හේතුව සෙරොටනීන් (Serotonin) නැමති රසායන ද්‍රව්‍ය අඩුවීම සහ ඇසිටයිල් කෝලීන් (Acetylcholine) නැමති රසායන ද්‍රව්‍ය වැඩි වීමයි. මේ නිසා බොහෝ සිහින නිසිලෙස ගබඩා නොවී මතක ධාරාවෙන් ගිලිහී යයි.

හොබ්සන්ගේ මතයට අනුව අපගේ බොහෝ සිහින මොළයේ ලිම්බික් සිස්ටම් (Lymbic system) නමැති පද්ධතියේ හැඟීම් ඇවිස්සීමත් සමඟ ඇතිවන ඒවා මිස බොහෝ විට විකාර රූපී එනිසාම සත්‍ය නොවන ඒවා බවයි.

deshaya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here