වාත, පිත, සෙම යනු ත‍්‍රිදෝෂයන්ය. සත්වයාගේ භව දුකට විශේෂඥ වෛද්‍ය විශාරදයාණන් වූ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ද ත‍්‍රිදෝෂ කෝපයෙන් සත්ව ශරීරයේ රෝගාබාධ උපදින බවයි.

එය දේශීය වෛද්‍ය ක‍්‍රමයේත්, ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේත් මැනැවින් පෙන්වා දී තිබේ. සෘග්, යජුර්, සාම, අථර්වන් යන ඉන්දීය බමුණු වේදය මූලික කොට බිහි වූ ආයුර්වේදය, දේශීය වෛද්‍ය ක‍්‍රමය (පාරම්පරික සිංහල වෙදකම) නොවන බව අප මැනැවින් හඳුනාගත යුතු ය. වටහාගත යුතු ය.

මීට අවුරුදු දහස් ගණනකට මත්තෙන් ලෝකයේ පළමු වරට සකලාංග සම්පූර්ණ රෝහල් ඉදි කොට විස්මිත වූ ශල්‍යකර්ම පවා සිදු කළේ කවුරුන් දැයි ඔබ දන්නවා ද? ඒ වෙන කිසිවෙක් නො ව සිංහලයන්ය. එකල ලෝක පාලක සුද්දන් සිටියේ කොළ අතු හැඳගත් ගල් යුගයේ ය. ශරීරයේ අස්ථි කැඩි බිඳී කුඩු වී ගිය අවස්ථාවල දී එම අස්ථීන් ඉවත් කොට නොයෙක් සතුන්ගේ අස්ථීන් බද්ධ කොට විස්මිත සුව සලසා දුන් දේශීය වෛද්‍ය විශේෂඥයන් හෙළදිව සිටි බව ඔබ නොදන්නවා විය හැක. සංජීවනී වැනි අති දුර්ලභ නිර්වින්දන දේශීය ඖෂධ මගින් රෝගියා නිර්වින්දනය කරමින් ඇස් උළුප්පා සැත්කම් කොට, නැවතත් තිබූ ආකාරයෙන් ම බද්ධ කිරීමට තරම් එදා සිටි අපේ වෛද්‍යවරුන් සමර්ථයන් වූහ. එසේම කිසිම නිර්වින්දන ඖෂධයක් භාවිත නොකොට වේදනා සමනයට නිලයක් අල්ලමින් වදමල් කීලයෙන් ඇසේ සුද ඉවත් කොට පෙනීම ලබාදෙන ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක‍්‍රම ඉපැරණි පුස්කොළ වෛද්‍ය ග‍්‍රන්ථ තුළ තවමත් සුරැකිව පවතී.

ඉතා ප‍්‍රවේශමෙන් යුතුව ජලය උඩට නොයන පරිදි, රන්, රිදී, තඹ, ඇත්දත් ආදියෙන් සකසන ලද සියුම් ශල්‍ය වෛද්‍ය උපකරණ මගින් දිය මතුපිට තබන ලද මානෙල් කොළයක උඩ සිවිය ගැලවීම ඉතා සූක්ෂම වූ කටයුත්තකි. එදා දේශීය ශල්‍ය වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රගුණ කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයන් වෙත ගිය ගෝලයනට ලබා දුන් ප්‍රායෝගික අභ්‍යාසයකි ඒ.

බුදු දහමත් සමග ගසට පොත්ත හා සමාන ව පැවති අපේ හෙළ වෙදකම රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නො මඳ ගෞරව බුහුමානයට පත්ව විරාජමාන ව හෙළ දෙරණේ වැජඹුණේ එදා ය. අනුරාධපුරය, මිහින්තලාව, පොළොන්නරුව, රිටිගල වැනි ලක්දිව බොහෝ තැන්වලින් සොයාගන්නා ලද සකලාංග සම්පූර්ණ රෝහල්වල නටඹුන්, ශල්‍ය වෛද්‍ය උපකරණ, ඛෙහෙත් තැන්පත් කරන ලද උපකරණ, ඇඹැරුම් ගල්, අසාධ්‍ය රෝගීන් සඳහා විස්මිත ප‍්‍රතිකාර සැලසූ ඛෙහෙත් ඔරු එදා හෙළ වෙදකමේ පැවති ශ්‍රී විභූතිය මැනැවින් පෙන්වා දෙයි.

දේශීය වෛද්‍ය විශේෂඥයෙක් වූ බුද්ධදාස මහා නරපතීන් මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා සැත්කම් කළ අතර අංග සම්පූර්ණ වූ සාරාර්ථ සංග‍්‍රහය නම් ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග‍්‍රන්ථයේ නිර්මාතෘවරයාණෝ ද විය.

ඔබ බොහෝ විට නො දන්නා විස්මිත වූ දේශීය වෛද්‍ය ක‍්‍රමයේ තතු මෙසේ වෙද්දී ලොව ම ගිලගත් මාරාන්තික පිළිකාව හෙළ වෙදකමට අභියෝගයක් වන්නේ ද? විමසා බලමු.

දේශීය සිංහල වෛද්‍ය විද්‍යාවේ පිළිකාව පිළිබඳ ඉපැරණි පුස්කොළ පොත් තුළ නොයෙක් පිළිකා නාම පෙන්වා දී තිබේ. එනම් අර්බුධ, පීඩකා, විද්ධදි, ගඩු විෂාදි, කර්කටා අර්බුධ (කකුළුවාගේ හැඩයෙන් පැතිරුණ) ආදි නාමයන් ය. දේශීය ගෙඩි වණ පිළිකා වෛද්‍ය ක‍්‍රමය පිළිබඳ ව ලියැවුණු අත්පිටපත්, පුස්කොළ පොත් සේ ම ගෙඩි වෙද පොත, පිළිකා ප‍්‍රකරණය, පිළිකා උත්පත්තිය වැනි දේශීය වෙදපොත් තුළ සඳහන් විස්මිත වූ සටහන් තුළින් පෙනෙන්නේ එදා අපේ හෙළදිව සිංහල වෙදකම ඉදිරියේ පිළිකාව ප‍්‍රශ්නාර්ථයක් නො වූ බවයි. ඉපැරණි තල්පතක ලියැවුණු පිළිකාව පිළිබඳ ව සිදුකර ඇති නිර්වචනය පිළිබඳ ව මඳක් විමසා බලමු.

තවද මේ අර්බුධ (පිළිකා) ජාති වර්ග නම්, යම් සෙ වෘක්‍ෂයක හටගත් නුග පිළිලය ක‍්‍රමයෙන් වැඩි ගොස් පළමු වෘක්‍ෂයෙහි නාමයකුත් නැති කොට නුග ගස ම වේ ද? ඒ පරිද්දෙන් මුඛ මාංශ (කටේ ඇති මස්) ස්වභාවය නැති කොට අර්බුධ (පිළිකා) බවට මුඛ මාංශය පමුණුවයි. මෙයින් සුබුත්තෙහි, දිවෙහි, යටිතල්ලෙහි, උගුරෙහි උපන් අර්බුධ කල් නො යවා පිළියම් කළහොත් මිස කල්ගියහොත් අසාධ්‍යයයි. නාසයෙහි, කනෙහි, උඩුතල්ලෙහි, ඇසෙහි උපදනා අර්බුධයට වෛද්‍යවරයෝ පිළියම් කළ සාධ්‍ය වේ.

ගසක හටගත් පිළිලය ඔබ දැක තිබේ ද? එය එම ගසට පිළිකාවකි. ඉතා කුඩාවට වර්ධනය වන එකී පිළිලය ක‍්‍රමයෙන් වර්ධනය වී එහි ශාඛා පද්ධතිය මුල් ශාකයේ අතුරු සිදුරු නැතිව පැතිරී ගොස් එහි වර්ධනය මුළුමනින් ම අඩපණ කොට දමයි.

සත්ව ශරීරයේ හටගත් පිළිකාව ද ක‍්‍රමයෙන් වර්ධනය වී ශාකය මුළුමනින්ම වඳ කරමින් පැතිරෙන පිළිලය සේ පැතිරී යන බව ඉපැරණි දේශීය වෛද්‍යවරයාගේ තීක්ෂණ බුද්ධියට හසු වී ඇති අයුරු කෙතරම් විස්මිත ද? ඒ තුළින් හෙළ වෛද්‍යවරයාට පිළිකාව සම්බන්ධයෙන් තිබූ ශ්‍රේෂ්ඨ වෛද්‍යඥනය මනාව පැහැදිලි වේ.

එසේ ම ගෙඩි වෙද පොත, පිළිකා ප‍්‍රකරණය, පිළිකා උත්පත්තිය වැනි දේශීය වෛද්‍ය ග‍්‍රන්ථයන් තුළ පිළිකා නාම, වර්ග, ලක්ෂණ, හට ගන්නා ස්ථාන, පිළියම් ආදිය මැනැවින් පෙන්වා දී තිබේ. එකී හැඳින්වීම් සියල්ල පාහේ සරල සුගම පද්‍යයන් තුළින් විස්තර කර ඇති අයුරු අපූරු ය. ඇස ආශ‍්‍රිත ව හට ගන්නා ‘නුවන් පිළිකය’ පිළිබඳ ව මෙසේ පෙන්වා දී තිබේ.

ඇසයේ ඇස නුවනේ හට ගන්නේ

නුවන ද ඉදිමී වෙහෙස විඳින්නේ

ඇසයේ බැල්ම ද දුර නො පෙනෙන්නේ

නුවන් පිළිකේ නම ඉන් දැනගන්නේ’

මෙලෙස ඉපැරණි පුස්කොළ පිටපත්වල පිළිකා ගඩු පිළිබඳ ව බොහෝ විස්තර ඇතත් ඔබගේ දැන ගැනීම සඳහා නාමයන් පමණක් මෙහි සඳහන් කරමි.

පිළිකා ගඩු නාම

ඇට පොල ගඩුව , ඉළ පැලියාව , කළල් බන්‍ධන ගඩුව , කොණ්ඩර ගඩුව , ගල් රත ගඩුව , කටී විෂාදී ගඩුව , නළල් ගඩුව , පා පිළිකාව , මස් පිළිකාව , හකු පිළිකාව , කණ්ඩමාල ගඩුව , දේව අමාකරය , වියල් ගඩුව , මුලපලා ගඩුව , කළල් බංධනය , උදර පිළිකාව , කොණ්ඩර පිළිකාව , කටු පිළිකාව , දන්ත පිළිකාව , නහදඬු පිළිකාව , පොකුරු විෂාදිය , බාල පිළිකාව , හුඹස් බන්ධනය , කනක විෂාදිය , සන්නි මුසප්පුව , අමාකර ගඩුව

මේ ආකාරයෙන් නොයෙක් නාමයන්ගෙන් පිළිකා ගඩු වර්ග, එහි ස්වභාවය, හට ගන්නා ස්ථානය, සාධ්‍ය අසාධ්‍ය බව, කළ යුතු පිළියම් ආදිය පිළිබඳ ව මනාව විස්තර කර තිබේ. ඒ සියල්ල දේශීය වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ සිත් ගන්නා සුළු සරල කාව්‍යවලිනි. හකුපාඩා නමින් දේශීය වෙදකමේ හඳුන්වා දෙන හකු පිළිකාව පිළිබඳව හැඳින්වීම තල්පතක සටහන් කර ඇත්තේ මේ ආකාරයට යි.

මෙහි අර්බුධයෝ නම් සකු මුල කතුරු සන්ධියේ පටන් මුඛ කෙළවර ම ඡුවියෙහි පිහිටි සිහින් නහර පිට බොහෝ සෙයින් උපදනේ ය. එය ද කුකුල් කරමලක් සේ රළු ව, බුබුළු ව බද්ධ නො වූ මාංශ ඇති ව සෙම් වැඩි, වේදනාවක් නැතුව හටගෙන ක‍්‍රමයෙන් වඩනේ ය.’

මාරාන්තික පිළිකාව ඉදිරියේ දියුණු යැයි සම්මත බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් මේ දක්වා නිශ්චිත ප‍්‍රතිකාරයක් සොයාගෙන නැතත් විස්මිත වූ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ පිළිකාව නසන හෙළ ඔසු පිළියම් බොහෝමයක් ම සඳහන් ව තිබේ.

පිළිකාවට ගුණ කටුපිල විතර ද?

රත්නිටුල් , වරා , කැප්පෙටිය , වේලා , වැල් කහඹිලිය , වැල්මදට , අහු , නියගලා , එළනිටුල් , කටුපිල , මගුල් කරඳ , දුම්මැල්ල , බදුල්ල , ගැරඬිදුල් , මුරුවා වැල් , ප‍්‍රාණජීව , අක්මැල්ල , කුඩුමිරිස් , වෙල්ලංගිරිය , ඉරරාජ , සඳරාජ , වනරාජ , ගුරුළුරාජ , දියමිත්ත , කටුකරෝසණ , රුක්අත්තන , පිළල , හීං බිංකොහොඹ , කබරොස්ස , චීනඅල , හීං ඉරමුසු , මිනී මල් , කොබෝලීල , රත්මල් , මහරත්මල් , ඇත්අඩි

මෙවැනි දේශීය වන ඔසු තුළ පිළිකා නැසීමේ ශ්‍රේෂ්ඨ ඖෂධීය ගුණ අන්තර්ගත බව පැරණි පොතපතේ සඳහන් පිළිකා සම්බන්ධ ප‍්‍රතිකාර වට්ටෝරුවලින් මනා ව පැහැදිලි වේ. ඉපැරණි පුස්කොළ පිටපත් ආදියෙහි පිළිකා සම්බන්ධ සිය ගණන් කෂාය වට්ටෝරු, තෛල, ගුලි, කල්ක, පත්තු, තැවිලි, චූර්ණ ආදි සංස්කාරික ඖෂධ ප‍්‍රයෝග කරන අයුරු පෙන්වා දී තිබේ.

දැනට භාවිතයෙන් ගිලිහී ගිය පාරම්පරික සිංහල වෙදකමට පමණක් ආවේණික වූ, හෙණරාජ කායම, විණරාජ කායම, නීලගිරි කායම, රාජගුරු කායම, විණරාජ කෂාය, දිව්‍යරාජ කෂාය, මහා අග‍්‍රරාජ කෂාය, මහා තික්ත කෂාය, සිංහරාජ පැත්මන, ලේ පානා ගුලිය, ගුරුළුරාජ තෛලය, මහා රතිකාම තෛලය, මහා ගඩුරාජ තෛලය, මහා සර්ව විෂාදී තෛලය (දැනට වෙළඳ පොළේ භාවිත වන තෛලය නො වේ) වැල් දෙහි චූර්ණය, යමදේවරාජ තෛලය, නොච්චිමෝද ගුටිකාව ආදි නාමික ව සේ ම නිර්නාමික ව සඳහන් ව ඇති සිය ගණන් ගඩු පිළිකා වණ ආදිය සඳහා ප‍්‍රත්‍යක්ෂ වූ දේශීය ඖෂධ වර්ග ඉපැරණි හෙළ වෙදකම තුළ අපට හමුවේ.

සියලූ ගෙඩි, වණ, පිළිකා, සන්නි කෝල, වලිප්පු, අර්ශස්, බගන්දරා, ස්තී‍්‍ර පුරුෂ රහස් රෝග සඳහා ප‍්‍රත්‍යක්ෂ තෛලයක් වූ මහා රතිකාම තෛලය පිළිකා සම්බන්ධයෙන් යොදන අයුරු මෙසේ දක්වයි.

ඇතුළ යෝනිය බඩවැලේ සිට ව්‍යාධියෙන් පිළිකා ඇතී

උකුල, තුනටිය, කටිය, යටිබඩ අඩස්සි ද දැවිලිත් ඇතී

කකුල උස්සා ගන්ට බැරි ලෙස සන්ධි කෙවුමත් ඇතී

මෙතෙල දෙන්ට ඊට පළමු ව තවත් අනුපානයක් ඇතී

අරළු, ඉගුරු ද සීනමුල් එක් පලම අටෙකට කකාරන්

කිරල මේ තෙල කලඳකුත් ගෙන කෂායට ලා පොවාපන්

තරල බඩවැල තිඛෙන වණ පිළිකා ද ගුණ වේ බලාපන්

නෙළු අමුමස් උස්ණ කරවල අහරත් වළකවාපන්

මෙයාකාරයෙන් ඉපැරණි දේශීය වෛද්‍ය ග‍්‍රන්ථයන් තුළ අපේ පැරණි වෛද්‍යවරුන්ගේ චිකිත්සීය ඥනයෙන් සොයාගන්නා ලද පිළිකා නසන ප‍්‍රත්‍යක්ෂ ඔසු රාශියක් ම සටහන්ව ඇත.

අහෝ.. එදා ඉපැරණි සිංහලයා සතු වූ ලෝකයා මවිත කරවන සුළු දේශීය ඥන සම්භාරය අද වනවිට සහමුලින් ම පාහේ වැනසී ගොසිනි. ලෝකයේ කිසිම වෛද්‍ය ක‍්‍රමයකට නො දෙවෙනි වූ ප‍්‍රත්‍යක්ෂ වූ දේශීය ඛෙහෙත් වට්ටෝරු බොහෝමයක් ම සිංහලයාට අහිමි වී ගොස් බොහෝ කල් ය. ශේෂ ව ඇති අල්පය පවා අප‍්‍රකට වෙද පරපුරුවල පෙට්ටගම්වල කාවෝ කති, වේයන්ට බත සදති. පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය පරපුරෙන් පරපුරට ගෙනයාමට නො හැකි වී වියැකී ගිය, ශ්‍රේෂ්ඨ දස්කම් දැක්වූ වෙද පරපුරු කීයක් නම් අපට අහිමි වී ද?

සුළු අසනීපයක දී පවා ඉංගිරීසි පෙති කරල් අහුරු පිටින් ගිල දමමින් සිටින අපට, රැක ගත යුතු වූ හෙළ වෙදකමේ අගය කවදා නම් වැටහේ ද?

වියැකී යන හෙළ වෙදකම රැක ගනිමු.

ලිපි හිමිකම – මහා මේඝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here